Sunday, August 5, 2012

සමන් දෙවිඳු කරුණාවයි


බුදුන් වහන්සේගේ ශ්‍රී පතුල සටහන් වී ඇති ලෙස, ලංකා වාසී ලක්‍ෂ සංඛ්‍යාත බෞද්ධයන්ගේ වන්දනාමානයට හා ගෞරවාදරයට පාත්‍ර වී ඇති "ශ්‍රී පාද ස්‌ථානය" යනුවෙන් හඳුන්වනු ලබන "සමනල කඳු මුදුන" තරණය කරමින් වන්දනාමාන කර ගැනීමේ වාරය වර්ෂයක්‌ පාසා සියලු බෞද්ධයන්ට උදා වනු ඇත. මෙම වන්දනාව සියලු බෞද්ධයෝ විසින් අති උතුම් කොට සලකනු ලබන මහඟු පුණ්‍ය කර්මයක්‌ ලෙස සැලකේ. බුද්ධත්වයන් අට වැනි වසරේ බුදුන් වහන්සේ ලක්‌ දිවට වැඩම කළ තෙවැනි වාරයේදී වම් සිරි පා සටහන "සමන් කඳු මුදුනෙහි පිහිටුවා ලූ බව ඉතිහාසයෙහි සඳහන් වේ.උඳුවප් පුර පසළොස්‌වකත් සමග උදා වී වෙසක්‌ පුර පසළොස්‌වකින් අවසන් වන "සිරි පා වන්දනා සමය" මෙවර ආරම්භ වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මස 20 වැනි උඳුවප් පුර පසළොස්‌වක උදාවත් සමගය. බොදු බැතියෙන් හා ශ්‍රද්ධා ගුණයෙන් අනූන බොදුනුවන් සිරි පා සමය ඇරඹීමත් සමග, බාල මහලු භේදයකින් තොරව සමනල කඳු මුදුන තරණය කරනු දක්‌නට පුළුවන. සැදැහැ බැතිය ඉහ වහා යමින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහන් වූ සිතින්, අසීමිත බුදු ගුණ කදම්බය නිසාම උන්වහන්සේට උවටැන් කරනු පිණිස පුජෝපහාර දක්‌නවු වස්‌, එක්‌ සිරිපා වන්දනා සමයක්‌ තුළ දෙතුන් වතාවක්‌ "සිරිපා කරුණා" කළ බැතිමතුන්ද නැත්තේ නොවේ.එක්‌ සිරිපා සමයක්‌ තුළ බෞද්ධාලම්භනය වැඩි දියුණු කෙරෙමින් "සිරි පා" වැඳ පුදා ගන්නා ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන්ගෙන් නැගෙන "සාදු" නාදයේ දොaංකාරය බුදු සිරි පා පහස ලද සමනොල ශ්‍රි විභූතිය ලොවට හඬ නගා කියන්නාසේය. සොබා දහම විසින් ඇති කරනු ලබන අව් වැසි සුළං ආදී අනේක විධ ගැහැට, සිරි පා කරුණා කරනවුණට කරදරයක්‌ හෝ හිරිහැරයක්‌ නොව, එකම අශ්වාදජනක ආශිර්වාදයක්‌ කොට ඔවුන් විසින් සලකනු ලබන්නේ බොදු බැතියෙන් හදවත් පිරී ඉතිරී ගොස්‌ ඇති හෙයිනැයි අපට සිතෙන තරම්ය. ගමනේ විඩාව දුරු කොට ගැනීමට මෙන්ම ආරක්‌ෂාව සලසා ගැනීම හා අධික ශිතලෙන් මිදීම සඳහා තමන්ටම ආවේණික වූ බස්‌ වහරක්‌ මෙන්ම තාලයකට ගායනා කළ හැකි ගීත ඛණ්‌ඩයක්‌ ශබ්ද නගා කීමට පැරැන්නෝ පුරුදු වී සිටියහ.

 

"
වැඳල බහින මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි"
"
වඳින්න යන කිරි කෝඩුට බුද්ධං සරණේ සරණයි"මෙබඳු ගායනා අතොරක්‌ නැතිව සිරි පා කඳු මුදුන සිසාරා, ගීත සුළං හා මුසු වන විට විඩා පත් බව හා තෙහෙට්‌ටුව තමන් කෙරෙන් පලා යන බව දත් සැදැහැවතුන් බුදු ගුණ ගායනාවන් හි නිරත වන්නේ නිරායාසයෙනි. සුමන සමන් දෙවියන්ගේ අඩවිය ලෙස සලකනු ලබන සමනල කන්ද හා ආශ්‍රිත වනාන්තර ප්‍රදේශය තුළ, සිරි පා තරණය කරන්නවුන් වෙත මෙත් සිත් පතුරුවා සැහැල්ලු සිතින් බුදු ගුණ නිරතුරුව මෙනෙහි කරමින්, වන්දනා මානයෙහි යෙදීමට සැදැහැ බැතින් අනූන, බෞද්ධයෝ සැදී පැහැදී සිටිනු දැකීමත් අපූර්ව ජනක පැහැදීමෙන් සිත් සතන් පුබුදුවාලනු ඇත.සමන්ත කූඨ, දේව කූඨ, සමනල ආදී නම් වලින් දුරාතීතයේ සිට හඳුන්වනු ලබන බොදු අසිරිය ලොවටම හඬ ගා කියන "සිරි පා පුරාණය" අතිශයින් චමත්කාර ජනක හා වැදගත් ඓතිහාසික සිද්ධීන් ගෙන් ගහන ජනප්‍රවාදයන් හා පුරාවෘතයන් සමග බැඳී පවතී. ඓතිහාසික මුලාශ්‍ර, සංචාරකයන්ගේ වාර්තා බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ ආදියෙන් හෙළිදරව් වන සිරි පා තොරතුරු බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බඳු වූ අති පූජනීය බෞද්ධ කේන්ද්‍රස්‌ථානයක සදා සිහිවටනයක්‌ ලෙස නොනැසී පවතිනු නො අනුමානය.ශ්‍රී පාදස්‌ථානයේ මූලාරම්භය හා එය පිහිටුවීම පිළිබඳ විස්‌තර ක්‍රි. . 5 වැනි සියවසේ රචනා කරන ලද අපගේ වැදගත්ම ඓතිහාසික මුලාශ්‍රයක්‌ වන මහාවංශයේ සඳහන් වේ. "සුමන" නම් ආර්ය ශ්‍රාවකයාගේ ආරාධනය පරිදි තම වම් සිරි පා සටහන පිහිටුවා වදාල බුදුන් වහන්සේ, එය දැක බලා ගැනීමේ වරප්‍රසාදය හා වගකීමද සුමන ආර්ය ශ්‍රාවකයාටම පවරන ලද බවට ඉතිහාසය දෙස්‌ දෙයි. ආර්ය ශ්‍රාවක සුමන නමැත්තා පසු කලෙක සුමන සමන් දෙවියන් ලෙස සියල්ලන් අතරම ප්‍රසිද්ධ විය. එදා මෙදා තුර, සියවස්‌ ගණනාවක්‌ තුළ බෞද්ධයන්ගේ එකම පූජනීය කේන්ද්‍රස්‌ථානය බවට ශ්‍රි පාදස්‌ථානය පත් වීමත්, සුමන සමන් දෙවියන් උසස්‌ අන්දමින් පිදීමත්, සිsරි පා පුරාණය පිළිබඳ විශේෂ සිද්ධීන් වනු ඇත.බුදුන් වහන්සේගේ පාද ස්‌පර්ශයට, පූර්ව කාලීනව සමනල ගිර හා අවට ප්‍රදේශයන්, මිනිස්‌ ජනාවාසයන් බවට පත් වී තිබූ බව වංශකතාවල එන තොරතුරු, වෙනත් ඉතිහාසය හා බැඳුණු ජන ප්‍රවාදයන් මගින්ද සනාථ වනු ඇත. මෙම ජනාවාස පිළිබඳ ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය දක්‌වා දිව යන බව ඇතැමුන්ගේ මතය වී ඇත. බුද්ධ පාද ස්‌පර්ශයට පසුව ශ්‍රි පාද ස්‌ථානය හා අවට ප්‍රදේශය, සුමන සමන් දෙවියන්ගේ අඩවිය වශයෙන් සැලකීමටත්, සුමන සමන් දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීමත්, බෞද්ධයන් නොකඩවා සිදු කරන ලද හෙයින්, මෙම ස්‌ථානය උතුම් පුණ්‍ය භූමියක්‌ බවට පත්ව ඇත. බුදුන් වහන්සේගේ ශ්‍රි පතුල වන්දනාමාන කර ගැනීම සඳහා ඇදී එන ලක්‍ෂ සංඛ්‍යාත බැතිමත් හූ, සුමන දෙවියන් යෑදීමට අමතක නොකළහ.කුවේණියගේ අභාවයෙන් පසු ඇයගේ දරුවන් දෙදෙනා දිවි ගලවා ගැනීම පිණිස සැඟවී සිටියේ, ශ්‍රි පාද අඩවියේ බවට මහාවංශයේ එන සඳහන, එවක සමනල කන්ද පිළිබඳ පොදු ජනතාවගේ වැටහීමක්‌ වූ බව අපට කියා පායි.එසේම අනුරාධපුර යුගයේදී, සමනල කන්දෙහි හා අවට ප්‍රදේශයෙහි, විශාල භික්‌ෂුන් සංඛ්‍යාවක්‌ වාසය කළ බවට මහාවංශය සඳහන් කිරීමෙන් පෙනී යන්නේ ක්‍රමයෙන් මෙම ස්‌ථානය බෞද්ධයන් අතර වන්දනාමාන සහ පූජනීය කටයුතු සඳහා ප්‍රචලිත ස්‌ථානයක්‌ බවට පත් වී තිබූ බවයි.මහාවංශයේ පමණක්‌ නොව, අනෙකුත් මූලාශ්‍රයන් වන ශිලා ලිපි, දේශාටන වාර්තා හා ඓතිහාසික ග්‍රන්ථ රාශියකම ශ්‍රි පාදය ගැන සඳහන් වී ඇත. වරින් වර ලංකාවට පැමිණි ෆාහියන් ඉබන් බතුතා වැනි අය ශ්‍රි පාදස්‌ථානය පිළිබඳ වැදගත් තොරතුරු සිය දේශාටන වාර්තාවන්හි සඳහන් කොට ඇත. මෙයින් පෙනී යන්නේ, එකී දේශාටකයන් සිරි පා කඳු මුදුන තරණය කරන්නට ඇති බව, හා පිළිබඳ දැඩි උනන්දුවකින් හා අවධානයකින් තොරතුරු රැස්‌ කොට වාර්තාවක්‌ සකස්‌ කරන්නට ඇති බවයි.

දැනට අප දන්නා ඉතිහාස තොරතුරු ආශ්‍රයෙන් ගොඩ නගාගත හැකි "සිරි පා පුරාණය" පිළිබඳ කතාන්තරය අප ඉදිරියේ මවා පෙන්වන චිත්‍රය, ඇතැම් විට බිය ජනකය. ඇතැම් විට චමත්කාර ජනකය.සමනල කඳු මුදුන තරණය කිරීම අද තරම් ඈත අතීතයෙහි පහසු නොවීය. එය ජීවිතය පරදුවට තබා කරනු ලබන අති දුෂ්කර කාර්යයක්‌ විය. අපගේ මුතුන් මිත්තන් සිරි පා තරණය කිරීම සඳහා ගියේ තනිවම නොවේ. විශාල පිරිස්‌ වශයෙනි. මෙම පිරිස මෙම කාර්යය සඳහා මෙහෙයවනු ලැබූ පුද්ගලයා මේ සම්බන්ධයෙන් බහුල අත්දැකීම් සහිත අයෙකු වූ අතර, ඔහු හඳුන්වනු ලැබුයේ "නඩේ ගුරා" වශයෙනි. ජනප්‍රවාදයෙහි එන ඇතැම් කතාවලට අනුව, සමහර දෙනා තම ඉඩකඩම්, ගේ දොර, හරක බාන, ආදී තමන් සතු වටිනා දැ තම දූ දරුවන්ගේ නමට පවරා මෙම සිරි පා ගමනට සහභාගි වූ බව සඳහන් වන හෙයින් මෙය, අති දුෂ්කර ගමනක්‌ වූ බවට සැකයක්‌ නැත. ගමනට සහභාගි වී යළි නිරුපද්‍රිතව, ගම් බිම් කරා ඒමට නොලැබේදො යන දෙගිඩියාව සියල්ලන්ගේම සිත් සතන් තුළ පැලපැදියම් වී තිබෙන්නට ඇත. කොතරම් දුෂ්කරතාවයෙන් යුතු ගමනක්‌ වුවද, පැරැන්නෝ හට සමනල නැඟීමට ධෛර්යය හා අනුබලය ලබා ලෙන ලද්දේ ඔවුන් ගේ හදවත් පුරා නිරන්තරයෙන් ලැඟුම් ගෙන තිබූ ශ්‍රද්ධා බැතියයි. සමන් දෙවිඳුන්ගේ කරුණාව හා මෛත්‍රිය අපේක්‌ෂාවෙන් "සමන් දෙවිඳු කරුණාවයි" යන්න නිතර මුවග රැඳී තිබිණි. නිරතුරුවම කරුණාව හා මෛත්‍රිය පෙරදැරි කොට ගත් වදන් උස්‌ හඬින් ගායනා කිරීම සමන් දෙවිඳුන්ගේ ආරක්‌ෂාව ලබා ගැනීමට මෙන්ම විඩාව දුරු කර ගැනීම සඳහාද උපයෝගී කර ගත් බව පෙනේ. බාල, තරුණ, මහලු භේදයකින් තොරව සියල්ලන් වෙතම කරුණාව හා මෛත්‍රිය පතුරුවමින් ක්‍රියා කරන්නට සිරි පා කරුණා කරන්නවුන් පෙළඹෙවුයේ නිතැතිනි.මෙම දුෂ්කර කාර්යය ඉතා සතුටින් නිම කළ ස්‌වදේශිකයෝ මෙන්ම විදේශිකයෝ වූහ. සිරි පා තරණය කළ එක්‌තරා විදේශිකයකු සියෑසින් දුටු සිද්ධියක්‌ වාර්තා කොට ඇති අයුරු ලොමු දැහැ ගන්වන සුලුය.

"
එදා සියලු දෙනාම නොයෙකුත් ගල් මුල්වල ආධාරයෙන් ඒවා දැඩිව අල්ලා ගනිමින් කඳු මුදුන කරා ළඟා වීමට දැඩි උත්සාහයක යෙදී ඇත. එක්‌තරා ගිරි ශිඛරයක්‌ බඳු ස්‌ථානයකදී, ඉහළ සිට පහළට එල්ලෙන දම්වැලක එල්ලී එහි ආධාරයෙන් බැතිමතුන් කීප දෙනකු ඉහළට නැගීමට උත්සාහ කළ සැටිත්, හදිසියේම මහා මාරුතයකින් දම්වැල මිනිසුන් සමග පැද්දී ගොස්‌, මහා ප්‍රපාතයකට එල්ල වූ සැටිත්, දම්වැලෙහි එල්ලී සිටි සියලුදෙනාම වෙනත් කිසිම ආධාරයක්‌ නොමැතිව ශක්‌තිය ඇති තුරා එල්ලී සිට පසුව මහා ප්‍රපාතයට ඇද වැටුණු සැටිත්, අතිශය දුක්‌මුසු අයුරින් එම විදේශීය සංචාරකයා සිය විස්‌තරයට ඇතුළත් කොට ඇත.එම විදේශිකයා වාර්තාගත කොට තිබූ හෙයින්, මෙම සිද්ධිය අපට දැන ගැනීමට ලැබුණා මිස වාර්තා නොවූ වෙනත් මේ අන්දමේ බිහිසුණු සිද්ධීන් කොතෙක්‌ සිරි පා තරණයේ දී සිදුවන්නට ඇද්දැයි සිතා ගත හැක.පොලොන්නරු හා දඹදෙණි යුගයන්හි රජ කළ බොහෝ රජවරු ශ්‍රි පාදස්‌ථානය වැඳ පුදා ගැනීමටද, එයට අනුග්‍රහ දක්‌මින් එහි දියුණුවට ගම් බිම් පවා පූජා කිරීමට ඉදිරිපත් වූ බවද, එම යුගයන්හී ශිලා ලිපි වලින් පෙනේ. සිංහලයාගේ ස්‌වාධීනත්වය ආරක්‌ෂා කරමින් පර සතුරන් සමුලඝාතනය කොට පොලොන්නරු රාජධානිය පිහිට වූ 1 වැනි විජයබාහු රජතුමා තම ජයග්‍රහණයෙන් පසු ශ්‍රි පාද වන්දනාවේ ගිය බව ඔහුගේ අඹගමුව ශිලා ලිපියෙහි සඳහන් වේ. ශ්‍රි පාදස්‌ථානයට අනුග්‍රහය දක්‌වමින් එහි සංවර්ධනය සඳහා කටයුතු කළ රජුන් අතර මහා පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල, කීර්ති ශ්‍රි රාජසිංහ යන රජවරුන්ගේ නම් චූල වංශයේ දැක්‌වේ. වට්‌ට ගාමිණී අභය, ශ්‍රී සංඝබෝධි, මිහිඳු, වික්‍රමබාහු යන රජවරුන් ශ්‍රි පාද වන්දනාවේ යෙදුණු බවද සඳහන් වේ.

ශ්‍රි පාද වන්දනාව මුලින්ම අප අතර ප්‍රචලිත වූයේ හරියටම කවර දා සිට දැයි කීම උගහටය. දැනට ලැබී ඇති තොරතුරු හා මූලාශ්‍රවලට අනුව එය, ක්‍රි.පූර්ව යුගය දක්‌වා දිව යන බව පෙනේ. භාතිය රජු දවස එක්‌තරා මල් උයනක්‌ මුර කරමින් සිටි අත් පා නැති කොටෙකු මල් කැඩීමට සුරඟනන්ගේ ආධාරයෙන්, ශ්‍රි පාදස්‌ථානයට ගිය බවද එතැන් පටන් ශ්‍රි පාද වන්දනා, ජනයා අතර ප්‍රචලිත වූ බවද අපේ ජනප්‍රවාදයන් හි සඳහන් වේ. ගැමියන් අතර පවත්නා මෙබඳු ජනප්‍රවාද රැසකින් ශ්‍රී පාද වන්දනාව පිළිබඳ යම් යම් වැදගත් තොරතුරු හෙළිදරව් කර ගත හැකි වනු ඇත.මෑත ඉතිහාසයෙහි සාහිත්‍ය ග්‍රන්ථ හා වාර්තාවලින්ද ශ්‍රි පාදස්‌ථානය සම්බන්ධයෙන් අපට හමු වන තොරතුරු අප්‍රමාණය. තොටගමුවේ ශ්‍රි රාහුල හිමියෝ සැළලිහිණි සන්දේශයේ "සමනල" පිළිබඳව විස්‌තර ඇතුළත් කොට ඇත්තේ මෙසේය.සුර රද සමන් සමගින් සුරඟන එව
පැහැනද මදාරා පරසතු මල් පත
කැර පුද වඳින රැඳි මුණි සිරි පා තඹ
සකිසඳ පෙනේ "සමනොල" ගල නැගෙනහි
ලංකාව ගැන දීර්ඝ විස්‌තරයක්‌ ලියූ "රොබට්‌ නොක්‌ස්‌" ලංකාවේ උසම කන්ද ලෙස "සමනල කන්ද" සඳහන් කොට ඇත. ඔහු සමනල කඳු මුදුනෙහි මුණි සිරි පා සටහන ඇති බවද පිළිගෙන ඇත.බෞද්ධයන් පමණක්‌ නොව, ලංකාවේ විවිධ ආගමික බැතිමත්හු ඔවුන් ගේ ආගමික නායකයන්ගේ පාද ස්‌පර්ශය ලැබූ ස්‌ථානයක්‌ ලෙස ශ්‍රි පාද ස්‌ථානය හඳුන්වති. මුස්‌ලිම් භක්‌තිකයෝ මෙහි ඇත්තේ මහමද්තුමාගේ පා සලකුණ බවට විශ්වාස කරති. එසේම හින්දු ආගමිකයන් ගේ විශ්වාසය වී ඇත්තේ ශිව දෙවියන් ගේ පාද ලාංඡනය එහි පිහිටා ඇති බවයි. ක්‍රිස්‌තියානි ආගමිකයෝද, ඔවුන්ගේ ආගමික නායකයකුගේ පා සලකුණක්‌ ලෙස සලකනු ලබන අතර, ඇතැම්හු "ඇඩම්ස්‌ පීක්‌" යන නමින්ද සමනල කන්ද හඳුන්වති.


20
වැනි සියවසේ මැද භාගයේදී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් සිරි පා කඳු මුදුන හා ආශ්‍රිත වනාන්තරය අභය භූමියක්‌ බවට ප්‍රකාශයට පත් කර ඇත. එසේම නොබෝදා, ශ්‍රි පාදස්‌ථානය" ලෝක උරුමයක්‌ බවට ප්‍රකාශයට පත් කිරීමට, වග කිවයුත්තන්ගේ අවධානය යොමු වීම, ලංකාවේ පමණක්‌ නොව ලොව පුරා විසිරී සිටින සියලුම බෞද්ධයන් ගේ භාග්‍යයක්‌ කොට සැලකිය හැක.

උපුටා ගැනීම:-බන්දුල පද්මසිරි සොයිසා
Divaina 26-12-2010



6 comments:

  1. ඇත්තටම ගොඩක් වටිනා බ්ලොග් එකක්. සුබ පතනවා ඔයාට මේක දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්න කියල. උදව්වක් ඕනි නම් අපි දෙන්නම්.සුබ පැතුම්...!!!

    ReplyDelete
    Replies
    1. ඔබේ දිරිදීමට බොහොම ස්තූතී යාලුවා...

      Delete
  2. ඇත්තටම ඔ‍බ ගත් උත්සාහය අපූැයි.. ‍‍‍‍ෙගාඩක් ලස්සනයි වර්ණ ගැලපීම්නුත්. අ‍ෙපානුත් උදව්වක් ඕන වු‍ෙනාත් කියන්න. සමාවෙන්න මට හරියට සිංහල යුනි‍ෙකා්ඩ් ගහන්න නම් බෑ. ඔ‍ෙබ් උත්සාහය අතිසාර්ථක ‍‍ෙව්වා කියල පාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. ඔබෙ දිරි දීමට බොහෝම ස්තුතී යාලුවා... උදවුවක් අවශය උනොත් අනිව කියනම්. තෙරුවන්සරනයි!!!

      Delete
  3. ගොඩක් ලස්සනයි මචෝ නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්ත‍ා
    දිනෙන් දින තවත් අලුත් දේවල් කරන්න ව‍ාසනාව ලැබේවා.....සුභ පැතුම්......

    ReplyDelete