Friday, August 24, 2012

මහනුවර මඟුල් මඩුව


අපගේ රජවරුන් රට පාලනය කළ රාජ සභා මණ්ඩප අතුරෙන් තවමත් ජීවමානව දැකිය හැකි රාජ සභා මණ්ඩපයක් වශයෙන් දළදා මැදුරු ආසන්නයේ ඇති මඟුල් මඩුව හැඳින්විය හැකිය. ශ්‍රී දළදා මාලිගාවටත් රජ මාලිගා පරිශ‍්‍රයටත් මැදිව පිහිටා ඇති උඩරට දැව කැටයම් නිර්මාණ ශිල්පීන්ගේ අපූර්ව නිර්මාණයක් වූ මෙම විවෘත මණ්ඩපය ශ්‍රී ලංකා දේශයම ගිවිසුමක් මගින් ඉංගී‍්‍රසීන්ට අත්පත් කරදුන් ඓතිහාසික ලියවිල්ල වූ උඩරට ගිවිසුම අත්සන් කළ මණ්ඩපය ලෙසද සැලකේ.
එහෙත් ඊට පෙර මෙම මණ්ඩපය සාමාන්‍ය ජනතාවට ළඟාවිය නොහැකි අධිආරක්‍ෂිත කලාපයක පිහිටි නායක්කර් රජවරුන් තම යුද අධිකාරම්වරුන් මෙන්ම නිලමේවරුන් සමග රාජ්‍ය පරිපාලන කටයුතු පමණක් නොව, අධිකරණ කටයුතු පවා ගෙන ගියේ මෙම ස්ථානයේ දී බැවින් මෙම ගොඩනැගිල්ලටමහ නඩුව” යන නමින්ද එදා ව්‍යවහරට එක්වී ඇත.
එකළ මෙහි රාජ සභාව පවත්වන විට රතු හා සුදු රැලි පාලම් වලින් දැව කුලූන ඉතා අලංකාර අයුරින් සරසා ඇති අතර වර්තමානයේ එම අවස්ථාව දැක ගත හැක්කේ මල්වතු අස්ගිරි උභය පාර්ශවයේ නායක උත්සව වලදීය.


උඩරට දැව කැටයම් කලාවේ ඉහළම සංධිස්ථානයක් වශයෙන් සැලකිය හැකි මේ අපූරු නිර්මාණය කළේ දේවේන්ද්‍ර මූලාචාරිවරයායි. ඔහු ඓතිහාසික දළදා මාළිගාවේ පත්තිරිප්පුවේ නිර්මාණකරුවාද වෙයි.ඓතිහාසික මඟුල් මඩුව සකස් කිරීම සඳහා යොදාගෙන ඇති හල්මිල්ල හා නා දැව මාතලේ නාලන්දෙන් රැගෙන බවට සඳහන් වන අතර පත්තිරිප්පුව නිර්මාණය කිරීම සඳහා ගෙන එන ලද දැවද එම ප‍්‍රදේශයෙන්ම ගෙන බව සඳහන් වේ.


මඟුල් මඩුව මුලින්ම නිර්මාණය කරන ලද්දේ 1781 සිට 1798 දක්වා උඩරට පාලනය කළා රාජාධිරාජසිංහ රජු බව ඉංගි‍්‍රසි ලේඛක ජේ.සී. ලූවිස් සටහන් වෙයි.එහෙත් රාජාධිරාජසිංහ රජු අභිරහස් ලෙස මිය යන විට එහි වැඩ කටයුතු අවසන් වී නොතිබූ බැවින් ශ්‍රී වික‍්‍රමරාජසිංහ රජුද එහි ඉදිකිරීම් කටයුතුවලට උර දී ඇත.ඓතිහාසික වූ මේ මහා මණ්ඩපය ඉතිහාසයට එකතු වන්නේ, අපගේ රාජවශංයේ රජවරුන් දෙදෙනකු හා පසුව ඉංගී‍්‍රසීන් විසින් අලූත් කරන ලද රාජසභා මණ්ඩපයක් වශයෙනි.

උපුටා ගැනීම ලංකාදීප පත්‍රයෙනි.

No comments:

Post a Comment