අනුබුදු මිහිඳු මහරහත් සමිඳානන් බු.ව. 236 ඉල් මහ පුර පසළොස්වක පුන් පෝ දින දෙවනපෑතිස් රාජ මන්දිරයට සපැමිණ පැවසුවේ, සම්බුද්ධ ධාතු වන්දනාවට පෙරලා ජම්බුද්දීපයට වැඩීමට අවකාශ අවශ්‍ය බව ය.
අප මහා සම්බුදුපියාණන් ජීවමාන නොවන කල සර්වඥ ධාතු වන්දනාව, ජීවමාන බුදුන් වහන්සේට වැදුම් පිදුම් කිරීම හා සම වන නිසා අනුබුදු හිමිට මෙම අවශ්යතාවය පැණ නැගුණි. නරේන්ද්රයාට මෙය මහත් ගැටලුවක් විය. එයට පිළියමක් ද අවශ්‍ය ය. ලාංකේය බිමෙහි මේ පිවිතුරු සම්බුදු දහම වඩා හිඳුවා පරිපූර්ණත්වයට පත් කරලීමට නම් සර්වඥ ධාතූන් වැඩම වීම අත්‍යවශ්‍ය ය. අනුබුදු සමිඳුන් මේ පින් බිමෙහි රඳවා ගැනීම ද ඒ තරමටම අවශ්‍ය ය.
අනුබුදු සමිඳුන්ගේ නියමයෙන් පූජනීය සර්වඥ ධාතු වැඩමවා ගැනීමේ පුණ්යමය දූත මෙහෙවරට ඉදිරිපත් වූයේ සුමන සාමනේරයාණන් වහන්සේ ය. ෂට් අභිඥා ලාභී පුංචි සුමන හිමියන් මෙම සද්කාර්යයට කදිම සුදුස්සා විය.
සක් දෙවි පුරයට සෘධියෙන් වඩින උන්වහන්සේ බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුව සිළුමිණි සෑයෙන් රැගෙන දෙව් ලොවින් මිහින්තලා ශුද්ධ භූමියටත් එතැනින් අනුරපුර මහමෙව්නාවටත් සපැමිණියහ. ඉනික්බිති කරඬුවක බහාලූ ධාතූන් වහන්සේ හස්තිරාජයකුගේ කුම්භස්තලය මත තබා සපිරිවර මහා පෙරහරින් වඩමවාගෙන එන ලදී. මහමෙව්නා උයනට පැමිණෙන හස්තිරාජයා එක් පිවිතුරු බිම් කඩක් අසල නැවතුණේ ය.
එය මේ කල්පයේ පෙර සම්බුදු ධාතු නිධන් කර සෑදූ චෛත්යයන් සුපිහිටියා වූ පිවිතුරු බිම් කඩම ය. එතැන දී කුම්භයෙන් ගෙන කරඬුව බිම තැබීමට මෙම හස්තියා ඉඩ ලබා දුන්නේ නැත.
හේතු කාරණා දැන රාජ නියමයෙන් අසල පිහිටි අබා වැවෙන් මැටි පිඬු ගෙන්වා හස්ති කුම්භයේ උසට ගොඩැල්ලක් තැනවී ය. ඒ මතට මේ දක්ෂිණ අකු ධාතූන් වහන්සේ වඩමවනු ලැබුවේ ය. ඒ සමඟම හනි හනිකට අවශ්‍ය ගඩොලු සෑදීම සිදු කළහ. ගොඩැල්ල වටකර ගඩොල් බැන්දේ ධාන්යාකාරයටය. මෙසේ චෛත්ය ඉදිකිරීමට දවස් කිහිපයක් ගත වූහ. දැන් නිසි පරිදි ධාතු නිධානෝත්සවයට සියල්ල සූදානම් ය.
සතරදිගන්තයෙන් ඇදී එන ජන සමූහය මධ්යයේ කරඬුවෙන් අහස් කුසට නැඟි ධාතූන් වහන්සේ යමාමහ පෙළහර පෑවේ ය. ධාතූන් වහන්සේ මතින් විටෙක අග්නි ජාලාවක් ද එ සැනෙන් ජල දහරාවක් ද සැදී නැඟී ඇදී එමින් මේ ධරණීතලයම ගිනිජාලාවෙන් ඒකාලෝක විය. ජල ධාරාවෙන් සිසිලස පැතුරුණි. ඉන්පසු ධාතූන් වහන්සේ මහා නරේන්ද්රයාණන්ගේ හිසමතට වැඩම කළේ ය. රාජෝත්තමයාණෝ උතුරායන සතුටින් දෝතට රැගෙන බැතියෙන් මේ ධාතූන් වහන්සේ ස්තූප ගර්භය තුළ තැන්පත් කළහ. අප්රමාණ වූ සර්ධා සම්ප්රයුක්ත මේ මහා අසිරිය දැක පැහැද ජනී ජන සමූහයා මහත් වූ ප්රබෝධයට පත් වූහ. මේ මහා ආශ්චර්යයෙන් මිහි මඬල සලිත විය.
මේ අසිරිමත් ප්රවෘත්තිය සටහන් කරන්නේ මහා වංශයට සහ වෙනත් වංශ කතාවන්ට අනුකූලව ය.
සම්බුදු දහම සපැමිණීමෙන් පසුව අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව නිධන් කර දේවානම්පියතිස්ස නිරිදානන් සෑදූ ථූපාරාම චෛත්යය ලංකාවේ ප්රථම ස්තූ®පය වෙමින් ඉතිහාස වංශ කතාවේ ස්වර්ණමය යුගයක ආරම්භය සටහන් කර යි. එතැන් පටන් පැවැතෙන ස්තූප වන්දනාව සහ ධාතු වන්දනාව අද දක්වාම බැතිමත් බෞද්ධයාගේ ආත්මය හා අඛණ්ඩව සම වැදී පවති යි. ස්තූපයේ ආරම්භක පෙනුම ධාන්යාකාර හැඩතල ගත්තද 1862 වසරේ දී කළ ප්රතිසංස්කරණයෙන් පසු එහි පෙනුම ඝන්ඨාකාර හැඩ තලය දක්වා පරිවර්තනය වී ඇත. ලජ්ජිතිස්ස (ක්රි.පූ. 119 – 110) ගෝඨාභය (ක්රි. ව. 249 – 263) අග්බෝ (ක්රි.ව. 604 – 614) මානවම්ම (ක්රි.ව. 648 – 718 ) යන රජවරු ථූපාරාම චෛත්ය විටෙන් විට ප්රතිසංස්කරණය කර තිබේ. දැනට ඇති වටදාගේ ගල් කණු මානවම්ම රාජ්‍ය කාලයේ ඉදි කළ බව කියැවෙ යි.එසේ ලංකාවේ පළමු වන වටදාගෙය ඉදි වන්නේ මෙහි ය.
ක්රි.ව. 840 පළමුවන සේන රාජ්‍ය කාලයේ ලංකාව ආක්රමණය කළ පාණ්ඩ්‍ය හමුදා ථූපාරාමය විනාශ කලෙන් 11 වන සේන රජු එය ප්රතිසංස්කරණය කළ බව කියැවෙයි. 1215 මාඝ ආක්රමණයෙන් ථූපාරාමය විනාශ විය. අද අප දකිනා ස්තූ®පය පිළිසකර කර ඇත්තේ 1862 වසරේදී ය.
ථූපාරාම චෛත්ය රාජයාණන් වහන්සේ ලංකාවේ ස්තූප වංශ කතාවේ පළමුව ස්තූපය වෙමින් සදහම් දීපයේ අභිමානවත් වූ ද සදැහැති වූ ද සුපහන් දසුනින් අදත් මහමෙව්නාව ද අප මාතෘභූමිය ද වර්ණවත් කරව යි.
ඇත්තෙන්ම ගොඩක් වටින ලිපියක්.. ගොඩක් ස්තූතියි සහෝදරයා අපිටා අපේ දේවල් ගැන කියල දෙන එක සම්බන්ධයෙන්..
ReplyDeleteතෙරුවන් සරණයි...ඔබට හරිම වටිනවා....
ReplyDeletebohoma hoda vatina lipiyak godak sthuthiiiii
ReplyDeleteකාලයේ වැලි තලාවෙන් වැසි යන හා වාසා වනසා දමන්නට තැත් කරන අභිමානවත් හෙළ ඉතිහාසය වර්තමානයට අනාවරනය කරන්නට දරන උත්සාහය අති විශිෂ්ඨයි,ප්‍රසංශනීයයි. එදා මෙදා තුර ලෙයින් කදුලින් දහදියෙන් සිංහලය ගොඩ සියලු විරුවන්ගේ ආශිර්වාදය නිතැතින්ම ඔබට හිමි වේ.ආඩම්බරයි සහෝදරයා ජයවේවා....
ReplyDeleteA valuable article. Patriotic feeling overfills from the top of the head to the tips of toes!
ReplyDelete