Friday, August 3, 2012

ශ්රී මහ බෝ වත



බෞද්ධ ජනතාවගේ මුදුන් මල් කඩ ලෙස පිළිගැනෙන අනුරාධපුර ශ්‍රී මහ බෝධීන් වහන්සේ නිරතුරු පුද පූජාවන්ට ලක්‌වන අතිශය උතුම් වූ බෞද්ධ පූජනීය වස්‌තුවකි. ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමානව ලබන පුද පූජා බොහෝය. ගෞතම බුදුරාජාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත්වීමේදී පිට දී වදාළ බුද්ධගයා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව වූ මෙම බෝධි රාජයා ශ්‍රී ලංකාවට වැඩම කරන ලද්දේ ක්‍රි. පූ. 246 දී දේවානම් පියතිස්‌ස රාජ්‍ය සමයේය. මෙරටට බුදු දහම ලැබීමත් සමගම මෙහෙණි සසුන පිහිටුවීමේ බලවත් අවශ්‍යතාවක්‌ පැන නැගිණ. අනුව මෙරට මෙහෙණි සසුන පිහිටුවාලීමට සංඝමිත්තා මෙහෙණින් වහන්සේ වැඩම කරවා දෙන ලෙසට දේවානම්පියතිස්‌ස රජතුමා මහා භාරතයේ අශෝක රජතුමාගෙන් ඉල්ලීමක්‌ කළේය. එම ඉල්ලීම පිළිගත් අශෝක රජතුමා සංඝමිත්තා මෙහෙණින් වහන්සේ මෙරටට වැඩම කරන ලද අතර ඇය අත ශ්‍රී මහ බෝධිය වැඩම කරනු ලැබිණ. බුදුරජාණන් වහන්සේට සමීප සම්බන්ධතාවක්‌ ඇති පියවි ඇසින් දැකිය හැකි එකම වස්‌තුව වූ ශ්‍රී මහා බෝධිය පිහිටුවීමත් සමගම මෙරට ජනතාව තුළ ඇති වූයේ බලවත් ආගමික ප්‍රබෝධයකි. බුද්ධගයාවේ තිබූ ශ්‍රී මහා බෝධිය අපවත්වීමත් සමගම මෙරට අනුරාධපුර පිහිටු වූ මෙම බෝධියේ වටිනාකම තව තවත් වර්ධනය විණ. බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා මෙරට බෞද්ධ ජනතාව පෙළ ගැසිණ.
මහා භාරතයේ සාංචි ස්‌ථූපයේ ඇති ගල් කැටයම් තුළින් ශ්‍රී මහ බෝධිය ශ්‍රී ලංකාවට වැඩම කරවීම දැක්‌වේ. එහි එක්‌ කැටයමක බෝධියක්‌ කැටයම් කරනු ලැබ ඇති අතර ඊට සමගාමීව වාදකයන්ගෙන් සුසැදි පෙරහැරක්‌ දක්‌නට ලැබේ. දකුණු අත පැත්තේ රාජකීයයකු වැන්නෙක්‌ අශ්වයකු පිටින් බසිනු දැක්‌වේ. මෙම රාජකීයයා අශෝක අධිරාජයා බව පිළිගත හැකිය. බෝධිය බුද්ධගයා මහා බෝධිරාජයා විය හැකිය. ඊට පහළින් දැක්‌වෙන කැටයම මගින් කුඩා බෝ අංකුරයක්‌ සහිත වූ භාජනයක්‌ වැඩම කෙරෙන පෙරහැරද වම්පස නගරයක්‌ දර්ශනය වේ. මෙම නගරය අනුරාධපුර හෝ තාමුලිප්ත නගරය විය හැකි යෑයි දැක්‌වේ. මේ අදහස ගයිගර්ද පිළිගෙන ඇත. මේ අනුව අනුරාධපුර ශ්‍රී මහ බෝධින් වහන්සේ ශත වර්ෂ විස්‌සකටත් වඩා පැරැණි බව පිළිගත හැකිය. එසේම ලොව දැනට ඇති පැරැණිතම ඓතිහාසික වෘක්‍ෂය ලෙසද පිළිගත හැකි යෑයි උගත්තු දක්‌වති. ශ්‍රී මහ බෝධිය පිහිටුවා ඇති ඉහළ මළුව පොළව මට්‌ටමේ සිට අඩි විස්‌සක්‌ පමණ උසය. මෙම මළුව වර්තමානයේ රන් වැටකින් හා ඇත් පවුරකින් වට කර දර්ශනීයව තිබේ. පහළ මළුවල දක්‌නට ලැබෙන බෝධි කීපයකි. යකඩ වැටකින් ආවරණය කරනු ලැබ ඇත.
බෝධීන් වහන්සේ පිහිටි මළුව වටා ප්‍රාකාරයක්‌ බැඳ සතර දිසාවන්ට වාහන්කඩ ඉදිකෙරිණි. ඊට සමගාමීව බෝධින් වහල්සේට පුද පූජා පවත්වා මහා පින්කම් සිදුකිරීම අඛණ්‌ඩව ඉටු කෙරුණි. මේ මහා පුද පූජා අතර දේවානම් පියතිස්‌ස රජතුමා පැවැත් වූ රාජකීය බෝ පෙරහැර විශේෂ තැනක්‌ ගනී. ධාතුසේන රජ සමයේ නානුමුර මංගල්‍යයක්‌ පවත්වා ඇත. බෝමළුව වටා දිය අගලක්‌ ඉදිකිරීම, මහානාග රජ සමයේදී සිදු කෙරිණ. දෙවැනි සේන රජ එම දිය අගල ප්‍රතිසංස්‌කරණය කරවා මහා පින්කම් මාලාවක්‌ පැවැත්වූ අන්දම සඳහන් වේ. ක්‍රම ක්‍රමයෙන් වැඩුණු ශ්‍රී මහා බෝධිය ගිනිකොණ දෙසට නැඹුරුවීම හේතුවෙන් ඉදිරී වැටී යෑයි බියවූ රජතුමා වහ වහා විශාල ආධාරක කුළුණක්‌ ඉදිකරවූ අන්දම දැක්‌වේ. එසේම දෙවැනි සේන රජ සමයේ ශ්‍රී මහ බෝධියේ එක්‌ අත්තක්‌ අසල විහාර මන්දිරයට පාත්වී තිබෙනු දැක ඊට කිසිම හානියක්‌ නොකර, තෙල් මල් පහන් පුදා සිදු කළ සත්‍ය ක්‍රියාව නිසා එය ඉහළට හැරී ගිය අන්දම මහා වංශයේ දැක්‌වේ. බෝධියක්‌ හෝ එහි ශාඛාවක්‌ විනාශ කිරීම මහා පාප කර්මයක්‌ ලෙස සැලකේ. මේ අනුව 1907 සහ 1911 කාලවලදී ඇති වූ වැහි කුණාටුවෙන් බිඳවැටුණු ශ්‍රී මහ බෝධි ශාඛාවක්‌, පැරැණි චාරිත්‍ර වාරිත්‍ර අනුව, ගරු සැලකිලි පුද සත්කාර මැද පෙරහැරකින් වැඩම කොට, ආගමික වතාවත් පවත්වා ආදාහනය කළ අන්දම පොතපතේ දැක්‌වේ.

දේවානම් පියතිස්‌ස රජ බෝධීන් වහන්සේ වටා ඉදිකෙරුණු ප්‍රාකාරය වල්අලි ඇතුන්ගේ විවිධ තර්ජනයන්ට ලක්‌ව, අබලන්ව තිබෙනු දැටු කීර්ති ශ්‍රී රාජසිංහ රජ එය වඩ වඩාත් ශක්‌තිමත් වන අන්දමින්, නැවත ඉදිකරනු ලැබූ අන්දම දැක්‌වේ. වර්තමානයේ දක්‌නට ලැබෙන්නේ එකී ප්‍රාකාරය බව පෙනේ. බෝ මළුව ප්‍රදේශය කැලයෙන් වැසී තිබීම නිසා වෘක්‌ෂයක්‌ වූ බෝධීන් වහන්සේට ඇතැම් අවස්‌ථාවලදී අලි ඇතුන් වන සිව්පාවුන්ගෙන් කරදර හිරිහැර පැමිණින. මේ වැළැක්‌වීම සඳහා ඈත අතීතයේ සිටම විශේෂ ආරක්‍ෂා විධිවිධාන යොදා තිබූ බව දැක්‌වේ. බෝ වැනි කිරි සහිත ගස්‌වල කොළ අතු ආහාරයට ගැනීමට වනයේ අලි ඇත්තු ඉමහත් කැමැත්තක්‌ දක්‌වති. නිසා එදා රාත්‍රි කාලයේ ශ්‍රී මහ බෝධිය ආසන්නයේ ගිනිමැල ගසා අලි ඇතුන්ගෙන් සිදුවන කරදර වළක්‌වා ගැනීමේ චාරිත්‍රයක්‌ පැවතිණ. මේ අනුව, අනුරාධපුර අටමස්‌ථාන වන්දනාවේ පැමිණෙන සැදැහැවත්aතුද, දර මිටි බැඳ විත්, ගිනිමැල දල්වා බෝධිය අවට ආරක්‍ෂා කිරීමේ චාරිත්‍රයට, පුරුදු පුහුණුවී සිටියහ. පෙරහැරින් දරමිටි ගෙන එන ලද බැවින් දරමිටි පෙරහැර යනුවෙන් , නිකිණි මස පෝය දරමිටි පෝය යනුවෙන් , වර්තමානයේ පවා ගැමියෝ හඳුන්වති.
නිරතුරු පුද පූජාවන්ට ලක්‌වන ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන්ම විශේෂිත වූ ප්‍රධාන උත්සව හතරක්‌ වාර්ෂිකව පැවැත්වේ. දුරුතු පසළොස්‌වක පෝය අලුත් සහල් මංගල්‍යය, ගෙවීයන පරණ සිංහල අවුරුද්ද වෙනුවෙන් කෙරෙන පරණ අවුරුදු මංගල්‍යය, සිංහල අවුරුද්ද ලැබීමත් සමගම පවත්වන අලුත් අවුරුදු මංගල්‍යය ඉල් පසළොස්‌වක පෝ දින සිදුකෙරෙන මහා උත්සවය එම උත්සව හතරයි. ඈත අතීතයේ තිසාවැවේ ජලයෙන් ශ්‍රී මහ බෝධීන් වහන්සේ නැහැවීමේ චාරිත්‍රයක්‌ද පැවතිණ. නමුත් මහජනයා ජලස්‌නානය කිරීම ආදිය නිසා වැවේ අපිරිසිදු වූ ජලයෙන්, බෝධීන් වහන්සේ නැහැවීමේ චාරිත්‍රය නතර කරන ලද බව පෙනේ. මේ සියලු චාරිත්‍රයන්ට වඩා වෙනස්‌ මගක්‌ ගත් ඖෂධ තම්බන ලද වතුරෙන් බෝධිය නැහැවීමේ චාරිත්‍රයක්‌ පෙර තිබූ බව පොතපතේ පෙනේ.
පෙර රජ දවස බෝධිය ආරක්‍ෂා කිරීමේ රාජකාරිය විශේෂිත ගම්මුන් පිරිසක්‌ වෙත පවා තිබිණ. බෝධියට පුද කොට ඇති විහාර ගම්වල පදිංචි මොවුහු සේවා ක්‍රමය අනුව තම රාජකාරි ඉටු කළහ. පදිංචිය හා ජීවනෝපායනය සඳහා ලබා දී ඇති විහාර ගම් දේපොළ භුක්‌ති විඳිමින් නොමිලේ මෙම රාජකාරි ඉටු කිරීම සාමාන්‍ය චාරිත්‍රය විණි. තම ආහාරපාන ඔවුන් විසින්ම සපයා ගැනිණ. බාරහාරවීම සඳහා බෝධියට පැමිණෙන සැදැහැවතුන්ගෙන් ලැබෙන ත්‍යාග, තුටු පඬුරු ලබා ගැනීමට ඔවුන්ට අවසර තිබිණ. ශ්‍රී මහ බෝධිය උදෙසා පෙරවරු හා පස්‌වරු වේ පැවැත්වෙන හේවිසි ශබ්ද පූජාව ඉතාම වැදගත්වේ. මේ සඳහා විහාර ගම්වල පිරිසක්‌ වූහ. වර්තමානය වන විට ශ්‍රී මහ බෝධීන් වහන්සේට පූර්ණ ආරක්‍ෂාව සැලසීමේ වගකීම රජය භාරගෙන ඇත. එය පරම යුතුකමක්‌ ලෙස සලකා ක්‍රියා කැරේ. රජයේ උද්භිත විද්‍යාඥයන්ගේ නිරතුරු පරීක්‍ෂාවට ලක්‌ කෙරෙන බෝධීන් වහන්සේට කිසියම් රෝග උපද්‍රවයක්‌ සිදුවුවහොත් වහ වහා ප්‍රතිකර්ම යෙදීම සඳහා ක්‍රියා කෙරේ. එම උපදෙස්‌ ප්‍රකාර ශ්‍රී මහා බෝධීන් වහන්සේට හා පරිවාර බෝධිවලට හානිදායක හෙයින් බෝ මළුව ඇතුළත පහන් දැල්වීම තහනම් කරනු ලැබ ඇත. පහන් දැල්වීම සඳහා පහසුකම් මළුවෙන් පිටත සලසා ඇත.
ශ්‍රී මහ බෝධීන් වහන්සේ පිහිටුවා ඇති පූජනීය ස්‌ථානය හා සම්බන්ධ පන්සල වත්තේ, උඩමළුව මහා විහාරයයි. අටමස්‌ථාන පූජ්‍යස්‌ථාන අතුරින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රමුඛස්‌ථානය ගනු ලබන අතර නිරතුරු පරීක්‍ෂාවට ලක්‌කරමින් පාලනය හා අධීක්‍ෂණය කිරීම අටමස්‌ථානාධිපති නා හිමිපාණන් වහන්සේ වෙත පැවරෙනු ඇත. උඩමළුව මහා විහාරය ඉතා දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන්නකි. 19 වැනි සියවසේ හත්වන දශකයේදී රුවන්වැලි මහා සෑයට පන්සලක්‌ පිහිටුවන තෙක්‌ අනුරාධපුර අටමස්‌ථාන භූමියේ තිබූ එකම පන්සල මෙය බව පොතපතේ දැක්‌වේ.
වරින් වර ද්‍රවිඩ ආක්‍රමණිකයන් ශ්‍රී ලංකාවේ බෞද්ධ වෙහෙර විහාර විනාශ කර දැමුවත් ශ්‍රී මහා බෝධීන් වහන්සේට හානියක්‌ කිරීමට නොහැකි වූයේ එහි ඇති සුවිශේෂී පූජනීයත්වය අදෘශ්‍යමාන බලවේගය ආදී හේතු නිසාය යන්න බෞද්ධ උපකල්පනයයි.

4 comments:

  1. වටිනා විස්තර එකතුවක්

    ReplyDelete
  2. බොහොම වටිනා ලිපියක්,මල්ලි ඔයාට පුලුවන්නම් මේ විදිහටම ලිපියක් ලියන්වද මේ බොදින් වහන්සෙලා ගේ අරක්ශාව වෙනුවෙන් ඉන්න කලු බන්ඩාරා දෙවත්වො පිලිබදව ,ඉල්ලිමක් පමනයි මල්ලි .....එරන්දි අක්කා

    ReplyDelete